laknaya. Powered by Blogger.
RSS

Translate 85 Language

අද දින ඔබගේ කලදසාව

කුම්භ ලග්න හිමියෝ - බදා ගන්නට නොව බෙදා දෙන්නට කැමැති

2015-05-16 02:00:00

කුම්භ ලග්න හිමියෝ - බදා ගන්නට නොව බෙදා දෙන්නට කැමැති

කුම්භයෙන් උපත ලද ඔබේ ලග්නාධිපතියා වනුයේ ශනි ග්‍රහයා හෙවත් සෙනසුරුය. කාරුණික ගුණය හා ආදරණීය බව කුම්භයේ ආවේණික ගුණයන් අතරින් විශේෂත්වයක් ගනී. ඉවසීමේ හා දරා ගැනීමේ හැකියාවද කුම්භයෙන් උපත ලද ඔබට ලග්නාධිපති සෙනසුරු ප්‍රදානය කළ උප්පත්තිමය දායාදයකි.

සොබාදහමට හා පරිසරයට මහත් ඇල්මක් දක්වන කුම්භයෙන් උපන් ඔබ කලාකාමී අදහස්වලින් පරිපූර්ණ වූවෙකි. මවාගත් සුන්දර ලොවක් තුළ ජීවත් වීමට මෙන්ම යථාර්ථවාදී ජීවිතයක් ගත කිරීමටද ඔබට එක හා සමාන හැකියාවක් ඇත. වැඩි කලබලයකින් තොරවූ සන්සුන් දිවි පෙවෙතක් ගත කිරීමට ඔබ දක්වනුයේ මහත් අභිරුචියකි.
හිත මිතුරන්ට දැඩිව ආදරය කරන ඔබ සුළු සුළු සිදුවීම්වලින් සසල වන අයකු නොවේ. එමෙන්ම සෙනසුරුගේ නෛසර්ගික ගුණය හේතු කොටගෙන වහා කිපෙනසුලු පුද්ගලයකුද නොවනු ඇත. එහෙත් දැඩිව අහිංසක අයුරින් කටයුතු නොකරන ඔබ බොහෝ විට මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන්නකු ලෙස හඳුන්වා දිය හැකිය.
කුම්භයෙන් උපන් ඔබ බුද්ධිමත්ය. සමාජශීලීය. ස්ථීර ගතිගුණයෙන් පොහොසත්ය. ප්‍රතිපත්තිගරුක අයුරින් ජීවිතය ගත කිරීමට උත්සාහ දරන ඔබට කල් තියා යම් දෙයක් පිළිබඳ අනුමාන කිරීමේ හැකියාව ඉතා උසස් අයුරින් පිහිටා ඇත.


පුළුල් මානසිකත්වයකින් හා නිර්මාණශීලී බවකින් පරිණත වූ කුම්භයෙන් උපත ලද ඔබ ප්‍රගතිශීලී අදහස්වලින් පරිපූර්ණ වූ සමාජවාදී පුද්ගලයෙකි. මානව දයාවෙන් පිරිපුන් හදවතක් ඔබට උපතින්ම ප්‍රදානය වී ඇති අතර මිනිස් සමාජයේ යහපත වෙනුවෙන් තමාගෙන් ඉටු විය යුතු යුතුකම් පිළිබඳ නිතර විමසිලිමත් වන අයෙකි. එම නිසා ඔබ දේශපාලනය තෝරා ගැනීම බොහෝදුරට ඉඩ ඇති බවක් පෙන්නුම් කෙරේ.
ජනතාවට අවංක සේවයක් ඉටු කළ ජන නායකයන් මෙන්ම වෘත්තීය සමිති නායකයන් රැසක්ම ඉපිද ඇත්තේ ඔබ උපන් කුම්භ ලග්නයෙනි. විශේෂයෙන් අප රට තුළ පොදු ජන යුගයක් බිහි කරමින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නිර්මාණය කළ අගමැති ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ද උපත ලබා ඇත්තේ කුම්භ ලග්නයෙන් වීම විශේෂත්වයකි.


සමාජවාදය ලොවට දේශනා කළ කාල් මාක්ස්තුමා හා දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ක්‍රියා කළ එස්.ජේ.වී. චෙල්ලනායගම් මැතිතුමාද ඉපිද ඇත්තේ කුම්භ ලග්නයෙනි. කුම්භයෙන් උපන් බොහෝ දෙනකු මෙලොවට බිහිව ඇත්තේ ජනතාවට සේවය කිරීමට බැව් ඉහත කී ජන නායකයන්ගේ චරිත තුළින් මනාව පසක් වේ.
මහ පොළොවේ පය ගසා ජීවත් වීමට ආශා කරන කුම්භයෙන් උපන් ඔබ චාම්, සරල ජීවිතය අගය කරන්නෙකි. ගැඹුරු ශාස්ත්‍රාදිය ඉගෙනීමෙහි නොතිත් ආශාවෙන් පෙළෙන අතර පොතපත කියැවීමට දක්වනුයේද මහත් රුචියකි. ජේ‍යාතිෂය හා ගුප්ත විද්‍යාවන් ඉගෙනීමටද දක්ෂතා දක්වන ඔබ විද්‍යා ගවේෂණයන්හි නියැළෙනුයේ මහත් උනන්දුවකිනි.
අනුන්ගේ සිත් කියැවීමේ හැකියාව වන "පරිචිත්ත විඥානය" ඔබ උපතින්ම ලද මහඟු දායාදයකි. සමාජයේ 'හොඳ' යැයි සම්මත අයම පමණක් ඇසුරු කරන ඔබට නියම මිතුරන් කවුදැයි හදුනා ගැනීමේ ඉවක් පිහිටා ඇත. බොරුව, වංචාව, අයුක්තිය, අසාධාරණය ඔබට වහ කදුරු වැනිය. නිරන්තරයෙන්ම සත්‍යවාදීව කටයුතු කරන ඔබට අනුන්ගේ දුක, වේදනාව දෙස ඇස්, කන් යොමු නොකර සිටීමට නම් කිසිසේත්ම නොහැකිය. ඒ තරමටම ඔබ තුළ සංවේදී ගතිගුණ පිහිටා ඇත. නමුත් තද ගතිගුණ ඔබ තුළ නැති බවක් එයින් අදහස් නොකෙරේ.


ඕනෑම අවස්ථාවකදී තැනට සුදුසු අයුරින් සොයා බලා කටයුතු කිරීමේ මනා හැකියාවක් හා පරිචයක් ඔබට ඇත. එය ඔබ උපතින් ලද දායාදයකි. එමෙන්ම ගුරුහරුකම් නැතිව වුවද ඕනෑම දෙයක් බලාගෙන සිට කිරීමටද ඔබ තුළ ඇත්තේ අසාමාන්‍ය හැකියාවකි.
අසරණයන්ට, රෝගීන්ට හා දුක්විඳින පීඩිත ජනතාටව සෙත සලසා දීම ඔබගේ ඒකායන ප්‍රාර්ථනාව වන අතර නිතරම ඔවුන් හා සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ දුක, සැප සොයා බැලීමට ඔබ තුළ ඇත්තේ මහත් කැමැත්තකි. විශේෂයෙන් තරුණ පිරිස්වලට වඩා වැඩිමහලු අය ඔබගේ මිතුරන් සේ නිතර ඇසුරට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පැවැතීම විශේෂත්වයකි.


කුම්භයෙන් උපන් ඔබ බොහෝ විට ජයග්‍රහණය ලබන්නේ අවසන් මොහොතේදීය. ඔබ කිසි විටෙක අනුන් අනුගමනය කරන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඔබ අන්‍යයන්ගේ මාවතේ ගමන් නොකළද ජීවිතය නිසි මඟට ගෙන ඒමට අන්‍යයන් හට උදවු උපකාර ලබාදීම ඔබගෙන් නිතර සිදු වන සමාජ සත්කාරයකි. ඒ සඳහා ඔබ බොහෝ කැප කිරීම් හා පරිත්‍යාගයන් සිදු කරනුයේ හද පිරි සතුටකිනි.
ඔබ තුළ පිටතින් පෙනෙනවාට වඩා යහපත් ගතිගුණ අභ්‍යන්තරයේ පිහිටා ඇත.
ඔබගෙන් ඉටු විය යුතු ඕනෑම කාර්යයක් සඳහා තම සිත, කය පූර්ණ වශයෙන්ම යොදවන ඔබ එම කාර්යය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නා තුරු එය අතරමඟ අතහැර දමා යන්නේ නැත. එය ඔබට ලග්නාධිපති සෙනසුරුගෙන් ලැබුණු දරා ගැනීමේ මහඟු තිළිණය" ලෙස පෙන්වා දිය හැකිය.


කුම්භයෙන් උපන් ඔබ මිනිසත්කම පිළිබඳව දැඩි විශ්වාසයකින් කටයුතු කරන අයෙකි. මනුෂ්‍යයාගේ සතුටත්, පී්‍රතියත්, සුබ සාධනයත් පිළිබඳ නිතර කල්පනා කරන ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහඬ සමාජ සේවකයෙකි. එමෙන්ම අවංක විශ්වාසවන්ත පුද්ගලයෙකි. පෘථුල කල්පනා ශක්තියකින් හෙබියා වූ ඔබ මහත් කැපවීමකින් හා දැඩි ආත්ම ශක්තියකින් යුතුව කටයුතු කරමින් අනාගතය ජය ගන්නා වාසනාවන්තයෙකි. මරණින් පසුවද ඔබේ නම චිරාත් කාලයක් පවතිනු ඇත.
එය ඔබට මෙන්ම ඔබේ කුල පරම්පරාවන්ටද ආලෝකයක් වන බව නියතය. කුම්භයෙන් උපන් ඔබ අන් ලග්නවලින් උපන් අයට වඩා මිත්‍රශීලී බවින් යුක්තය. යමකු ඔබෙන් උදව්වක්, උපකාරයක් බලාපොරොත්තු වන අවස්ථාවලදී එය නොපැකිළව ඉටු කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුත්තකි. එමෙන්ම සෑම දෙයක් සම්බන්ධයෙන්ම අවංකව කටයුතු කිරීමට යෑමෙන් විටෙක ඔබ දැඩි අපහසුතාවන්ට පත් විය හැකිය.

ජේ‍යාතිර්වේදී කොටදෙණියාවේ, ඩී. ඩී. නිමලවංශ ගුණවර්ධන

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment